Ticker

6/recent/ticker-posts

Ad Code

Responsive Advertisement

එදා එයා මාත් එක්ක ගෙදර හිටියේ.

මම ටීචර් කෙනෙක් වෙනවා

එදා ශිෂ්‍යත්ව විභාගය... දුවව ශිෂ්‍යත්ව විභාගයට එක්ක යන්නත් ඕන.. මහත්තයාව මරලා දාලා.. මහත්තයාගේ මිනිය ඉස්පිරිතාලේ. දුව තාත්තා කෝ... තාත්තා එන්නේ නැද්ද අහනවා... මම දුවව ශිෂ්‍යත්ව විභාගයට වාඩිකරලා ඇවිත් මහත්තයාගේ මිනිය බාර ගත්තා..”

ඇය මෙසේ කියන්නීය. ඇත්තෙන්ම එය දරාගත නො හැකි වේදනාවක්ය. ඇගේ සැමියා කිසිවෙකු විසින් ලොරියකට යට කොට මරාදමා ඇත. මියගිය ඔහුගේ සිරුර ඒ වනවිටත් රෝහලේය. සැමියාගේ සිරුර බාරගැනීමට ඇය යායුතුව ඇත. එහෙත් කුඩා දියණිය ශිෂ්‍යත්වය පෙනී සිටින දිනයද එදාය. දරුවාගේ අනාගතය ගැන සිතා ඇය දෑසේ කඳුළු හංගාගෙන ගොස් දියණිය ශිෂ්‍යත්ව විභාගය ලියන්නට ඉඩකඩ ලබා දී රෝහලට ගොස් හැඬූ කඳුළෙන් සැමියාගේ සිරුර බාර ගත්තාය.



යසවර්ධන තිදරු පියෙකි. බදුරලිය පොලිස් වසමේ කෙලින්කන්ද ග්‍රාමය ඔවුන්ගේ කුඩා පැල පිහිටා තිබුණි. පොලිසියේ සිට කිලෝමීටර් 15 ක් පමණ ගිය තැන කෙලින්කන්ද හමුවේ. එතැනින් දකුණට ඇති පාරේ කන්ද උඩහට තවත් කිලෝ මීටර් හතක් ගිය තැන සිද්ධිය වූ ස්ථානය හමුවේ. යසවර්ධන ලොරියට යට වී මිය ගියේ එතැන ය.

යසවර්ධන ජීවත්වූයේ ලී කැපීමෙන් හා ලී පැටවීමෙනි. දවසකට රුපියල් හත්අට සියයක් ලැබුණත් ජීවත්වීමට ප්‍රමාණවත් නොවූයේ දරුවන් තවමත් කුඩා හෙයිනි. ජීවිතේ ගැටගසාගන්නට ඊට වඩා වැඩි මුදලක් සොයාගැනීමට ඔහුට අවශ්‍ය විය. ඒ නිසා නිවෙස වටා ඇති තේ නෙලීමෙන් මාසයකට තේ කිලෝ පනහක් පමණ විකුණා අමතර ආදායමක් ලැබීය.

“එදා එයා මාත් එක්ක ගෙදර හිටියේ. අපේ

ඉඩම ඩෝසර් කරලා පැළ හිටවන්න පැළ ගේන්න ඕන කියලා අපි බටහේන පාරට ගියා. කිලෝ මීටර් දෙකක් විතර යද්දී මම පහුවෙලා ආවේ. එතකොට තමයි ලොරිය හිමි .... චූටි මෙහෙ වරෙන් කියලා එයාට කතා කළේ.”

ආරවුල ඇතිවී ඇත්තේ ඉන් පසුවය. ලොරියේ හිමිකරු අතමිට සරු කරගෙන ඇත්තේ දැව විකිණීමෙනි. ඔහු ළඟ ගෝල

බාලයන් කිහිප දෙනෙකු වැඩ කරති. ඊට විනාඩි ගණනකට කලියෙන් ගෝලයන් දෙදෙනෙකු ඔහු වෙත ගොස් මුදල් ගනුදෙනුවක් ගැන විමසා තිබේ.

ගෝලයන් දෙදෙනා දෙන්න තියෙන රුපියල් හැටදාහක් ඉල්ලා ඇතත් ලොරි හිමිකරු එය ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසු රුපියල් දහදාහක් ඉල්ලා ඇත. එය ද ප්‍රතික්ෂේප වී තිබේ. රුපියල් පන්දහසද දෙන්නට බැහැ කී තැන ඔවුන් අතර බහින් බස්වීමක් ඇති වී ඇතැයි පොලිසිය කියයි. ගෝලයන් දෙදෙනා ගේ මෙම ක්‍රියා කලාපය නිසා කෝපයට පත් ලොරි හිමිකරු ඉන්පසු තවත් දෙතුන් දෙනෙකු දමාගෙන ගෝලයන් සොයා ගොස් තිබේ.

ඒයි චණ්ඩි ගෙනත් ඉන්නේ.. හැඟෙන්නේ නැතිව වරෙන්... බැහැපල්ලා එළියට..”

උඹලගේ ගේ වටකරල ඉන්නේ ... වරෙල්ලා..”

ඔහු එසේ කෑ ගසද්දී ගෝලයන් දෙදෙනා වූ අයිය මලෝ නිවෙසින් පැන කැලයට පලාගොස් තිබේ. ඒ අතර තුර ලොරි හිමිකරු ලොරිය පදවාගෙන පාර දෙසට එද්දී මියගිය යසවර්ධන පැමිණ ඇතැයි බදුරලිය පොලිසිය කියයි.

දෙදෙනා අතර ආරවුලක් ඇති විය. එය අවසන් වී ඇත්තේ ලොරියේ රෝද යසවර්ධනගේ සිරුර උඩින් යාමෙන් අනතුරුවය. වැටුණු යසවර්ධනගේ හිස උඩින් ලොරිය දෙතුන් පාරක්ම ගොස් ඇතැයි පොලිසිය කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. යසවර්ධනගේ හිස පොඩිපට්ටම් වී තිබිණි.

“මගේ මහත්තයාත් කලින් එයා ළඟ තමයි වැඩ කළේ... ගනු දෙනු හරියට කරන්නේ නැහැ කියලා මහත්තයා එතැනින් ඉවත්වෙලා වෙන වෙන වැඩකළා. ඒක නතර කරන්න කියලා තර්ජන ආවා. ඒත් මහත්තයා ලී කපලා පැටෙව්වා. ඒකට තරහෙන් තමයි ඒ මනුස්සයා ඉඳලා තියෙන්නේ. උඩින් හොඳ හිත පෙන්නුවට එයා මහත්තයත් එක්ක වෛරයෙන් තමයි ඉඳලා තියෙන්නේ.”

සිද්ධිය පිළිබඳ යසවර්ධනගේ බිරිය වූ පි‍්‍රයදර්ශනී හඬා වැළපෙමින් ‘මාංචුවට’ කීවාය.

සැමියාගේ වියෝවෙන් ඇය අද අසරණ වී සිටින්නීය. කිලෝ මීටර් හතක් පමණ දුර ගොස් ඇය දරු තිදෙනා සමඟ මාකෙළිඇල්ල පොලිස් මුරපළ වෙත පැමිණ සිටියේ ඇගේ දුක කියන්නට ය.

දුමිනි ඉරෝෂා මධුමාලි ඇගේ වැඩිමහල් දියණියය. නැතිබැරිකම කරපින්නා ගෙන ගියද ඇය ඉගෙනීමට දක්‍ෂය. දෙවැන්නා රජිත් ධම්මිකය. බාලම දියණියට වයස අවුරුදු දෙකකි.

“දුව හොඳට ඉගෙන ගන්නවා. මහත්තයා නිතරම කියන්නේ දුවට හොඳට ඉගෙන ගන්න කියලයි. ඉස්කෝලෙ වැඩ මෙයාට හොඳට කරන්න පුළුවන්. මගේ පුතා ශිෂ්‍යත්වෙ පාස් වෙනවා කියලා මහත්තයා නිතරම කියනවා. ශිෂ්‍යත්වේ හොඳට ලකුණු අරගෙන පාස් වුණොත් කොහොම හරි බෝඩිං කරලා ලොකු ඉස්කෝලෙකට දානවා කියලත් එයා කිව්වා. දුවත් ඒ ආශාවෙන් තමයි හිටියේ . ඒ නිසා එදා සවස පන්සලට ගිහින් බෝධි පූජාවක් තියන්න කියලත් අපි හිතාගෙන හිටියේ. ඒ සේරම දැන් නැති වුණා. මේ දුක මට දරා ගන්න බැහැ. මම දරුවෝත් එක්ක තනි වුණා. මට දැන් කාගේ පිහිටක්ද මෙයාලා තවමත් පුංචියි. දරුවෝ හදාගන්න එකත් මට දැන් අමාරුයි...’

ඇය කඳුළු සලමින් කියන්නීය.

“තාත්තා නැති වෙලා කියලා චූටි දරුවෝ හරියට දන්නේ නැහැ. දුව තාත්තා එන්නේ නැද්ද කියලා අහනවා... ලොකු දුව තාත්තා නැහැයි කියලා ශිෂ්‍යත්වයට යන්න බැහැ කියලයි හිටියේ. ඒත් මොන දුක තිබුණත් ළමයා ඉගෙන ගන්න ඕන කියලා මම හඬ හඬා දරුවා අරගෙන ශිෂ්‍යත්ව විභාගයට ගියා.”

ඇත්තෙන්ම ඒ මොහොත වේදනාකාරිය. තම සැමියාගේ සිරුර බාර ගැනීම පසෙක තබා ඇය සිය දියණිය සමඟ පාසලට ගියේ දරුවාගේ අනාගතය යහපත් කරන්නටය. ඒත් අපේ සිතුම් පැතුම් ඵලදරාවි යැයි කිසිවෙකුටත් කිව හැකිද?

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම සහකාර පොලිස් අධිකාරි ජයසිරි කොඩිතුවක්කු මහතාගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ ඇරැඹිණ. ඒ වන විට බදුරලිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වූයේ ගුණසේකර මහතාය. සැරයන් සුමනවීර පරීක්‍ෂණ කටයුතු මෙහෙය වීය.

“අපි මේ සම්බන්ධයෙන් සැකකරුට හා ලොරිය අත්අඩංගුවට ගත්තා. මුදල් ගනුදෙනුවක් තමයි මේ පිටුපස තියෙන්නේ. ආරවුල ඇතිවුණේ වෙනත් දෙන්නෙක් එක්ක. ඒ මොහොතේදී මිය ගිය කෙනාත් එතැනින් යන්න ඇවිත් තියෙනවා. සිදුවීම ඇති වී තියෙන්නේ ඉන් පස්සේ.”

“ලොරියට යටවුණාට පස්සෙත් ආයෙත් සයිඩ් කණ්ණාඩියෙන් ආපසු බලලා දෙපාරක්ම මිය ගිය කෙනාගේ ඔළුව උඩින් ලොරිය ගිහින් තියෙනවා” සැරයන් සුමනවීර කීවේය.

අපි සිද්ධිය වන ස්ථානයට යනවිටත්

සිය මව සමඟ පුංචි දියණිය ද එතැනට පැමිණ සිටියාය. හරිහමන් බරපතළ කමක් ඇයට නොදැනුණද ඇය මවගේ ඇකයේ වෙළෙමින් සිටියේ හැඬූ කඳුළෙනි.

“දුව ශිෂ්‍යත්වය කළාද... එතැන සිටි අමුත්තෙකු ඇගෙන් විමසුවාය. ඇය හිස සලා ඔව් කීවාය.

“විභාගේ ලේසිද?”

“ඔව්”

“දුව විභාගේ පාස්වෙලා ලොකු වුණාම කවුරුවෙන්නද හිතාගෙන ඉන්නේ?”

“ටීචර් කෙනෙක් වෙන්න”

අමුත්තාගේ දෙනෙත් කඳුළින් පිරීගියේ එවිටය. එය ඇත්තෙන්ම හැ¼ඟුම්බර මොහොතක් විය. ඔහු වත්තල මහබාගේ සිට පැමිණි ජෝශප් ඇන්තනි නම් අයෙකුය. වේදනාව ඔහුට හොඳින් දැනුණේය. ඔහු මාකෙළිඇල්ලට පැමිණ සිටියේ මිතුරන් සමඟ විනෝද වීමටය. එහෙත් ඔහු එය පසෙක ලා ඒ මොහොතේම සිය මුදල් පසුම්බිය රැගෙන එහි වූ මුදල් නෝට්ටු සියල්ලම ඇය අතට දී කීවේ දරුවන්ට කන්නට දෙයක් රැගෙන යන ලෙසය. දරුවන්ගේ යහපතට ඉදිරියේදී තමන් කිසියම් පරිත්‍යාගයක් කරන බවටද ජෝශප් මහතා ඇයට පොරොන්දු විය.

මතුගම සහකාර පොලිස් අධිකාරි චන්දන ජයසිරි කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීම මත බදුරලිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතාගේ උපදෙස් මත මාකෙලිඇල්ල මුරපළේ පොලිස් ස්ථානාධිපති සැරයන් ජයතිස්ස හෙට්ටිආරච්චි (24649), කොස්තාපල්වරුන් වූ නාමවර්ධන (54638), හා ගුණවර්ධන (55223) යන මහත්වරු මේ පිළිබඳ පරීක්‍ෂණවලට එක්වූහ.

සැරයන් සුමනවීර ලිපිය සැකසීමේදී අපට සහාය විය.



Post a Comment

0 Comments