‘ඇයි තිනුලට වෙඩි තිබ්බේ?’
මම තිනුල මම තිනුල’
ඒ හඬ ඇසී ඇසිල්ලක් ගත වෙනවාත් සම¼ඟ තිනුල ගේ ප්‍රාණවායුව වාතලයට එක් වූයේ නාඳුනන මිනිසකුගේ වෙඩිල්ලකිනි.
මහනුවර ගුරුදෙණියේ මාළිගාතැන්නේ යසුනගා නිවාස සංකීර්ණයේ පිහිටි ප්‍රදේශය පුරාම මේ සැකයෙන් පිරි ප්‍රශ්නාර්ථය සුළඟටත් වඩා වේගයෙන් පැතිර ගියේ ය.
‘ග්‍රීස් යකෙක් කියලා හිතුවලු. රෑ කළුවරේ මොනවට ඇවිදිනවද? තනියම පාරේ ඉද්දි කවුද සැක නොකරන්නේ?... ඔය වගේ විවිධ කතා කට කතා ගානටම පාන්දර වෙද්දි රට පුරාම ඇවිළුණු කතාවක් වුණා.
2011 අගෝස්තු 26 වැනිදා අලුයම මාළිගාතැන්නේ නිවසට අපි යන විට තිනුලගේ අම්මා (දීප්තිකා අබේසිංහ (38)) තිනුලගේ නංගිලා දෙන්නාවත් තුරුලු කරගෙන වැඩිමහල් පුතා අහිමිවීමේ වේදනාව හදවතේ නැගෙන මහා සුසුම්වලට මුහුකරලා හූල්ල හූල්ලා ඉකිබිඳීනවා. ඇගේ මුවින් වචන නික්මෙන්නේ නෑ. ඇය අපට ඇයගේ බාල සහෝදරයාව අතදිගු කොට පෙන්නුවා.
ඒ මංගල අබේසිංහ, තිනුලගේ චූටි මාමා. තිනුලට වෙඩි වැඳුණු වෙලාවෙ ළඟ හිටියේ චූටි මාමා බව අපට පොලිස් නිලධාරින්ගෙන් දැනගන්න ලැබුණා.
ඔහුගේ දෑස්වලින් සට සට ගා ගලා හැලෙන කඳුළු කැටවල තිනුලගේ ආදරය වගේ ම යහපත් මිත්‍රශීලි බව රැඳීලා තිබුණා.
‘මම බදුල්ලේ හිටියාට හැම සති දෙකකට සැරයක් ගුරුදෙණියේ එනවා. තිනුල මගේ අක්කාගේ පුතා වුණාට, මගේ හොඳම යාළුවෙකුටත් වඩා මට සමීපයි. වයස අවුරුදු 16ක දරුවෙක් වුණත් මේ ළමයාට බැරි දෙයක් නැහැ. වාහනයක් කැඩුණත්, පරිඝනකයක වෙනසක් වුවත්, පොතක පතක දැනුමක් වුවත් ආහාර පානයක හැම දැනුමත් ඔහුට තිබුණා. සතෙකුට සිව්පාවෙකුට, ආදරය කරුණාව අනුකම්පාව මේ හැමදේම තිනුල ළඟ වුවමනාවටත් වඩා තිබුණා. තිනුලගේ චූටි මාමා එක දිගට කියාගෙන ගියා. ඒ එක්කම මේ විස්තර හැමදේම අප හා කිව්වා.
‘මම 23 වැනිදා අක්කලාගේ ගෙදර ආවා. තිනුලගේ තාත්තා යුද හමුදාවේ හිටපු මේජර්වරයෙක්. ඔහු සේවය කරන්නේ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ. ඔහු දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න විදෙස් ගත වෙලා සිටියත්, ඔහු නැති අඩුව අක්කලාගේ ගෙදර දරාගන්න බැරි තරම්ම තිබුණා. ඒ හිස් බව අපට නැතිවුණේ තිනුලගේ වචනවලින්.’
‘තිනුල මා සමඟ නොකියන දෙයක් නැහැ. එයා වයසින් මුහුකුරා නොගියත්, සිතිවිලිවලින් අවබෝධයෙන් අපටත් වඩා ඉදිරියෙන් හිටියා. ‘මරණය’ ගැන වුවත් ඔහු අපි එක්ක කතා කළා. ඔහුගේ මරණ දැන්වීම ඔහුගේ පරිගණකයේ දත්ත සැකසුමක (File - සුචියක) සකසා තිබුණා. ‘තාත්තේ මම මැරෙන්න බය නෑ. ඒත් මිනී පෙට්ටියක ඉන්න බයයි’.
‘එහෙනම් අපි දෙන්නාම පෙට්ටියක ඉමු ඒ විදිහට ම ඉඳලා ෆොටෝ ගමු’
තාත්තා බලන්න ලෙබනන් ගිය අවස්ථාවක තිනුල තාත්තාට කී දේ අනුව මේ දෙන්නා මැරුණා වගේ පෙට්ටියක ඉඳලා ෆොටෝ අරගෙන තිබුණා. අද තිනුල ඒ ෆොටෝ එකත් තියාගෙන ඇත්තටම පෙට්ටියේ ඉන්නවා..’
අගෝස්තු 24 වැනිදා රෑ අපි කෑම කාලා ටී. වී. බලමින්
ඉන්න අතරේ, නිවසේ උදව්වට ඉන්න ආච්චි පහළ මාලයේ ඉඳලා කෑ ගැහුවා. ‘කවුදෝ ජනේලය ළ¼ඟ හිටගෙන ඉන්නවා කියලා.’ අපි හැමෝම ලයිට් දාලා බැලුවා. එළියටත් ගියා. ගේට්ටුව ඒ වෙලාවේ ඇරලා තිබුණේ. මහ රෑ වෙනකල්ම හෝදිසියෙන් ඉදලා නිදා ගත්තේ.අගෝස්තු 25 වැනිදා අපේ ජීවිතවල ට උදාවුණු අවාසනාවන්තම දවස. එදා උදේ අවදිවෙන කොට රාත්‍රියේ මේ වගේ උහුලාගන්න බැරි දෙයක් සිද්ධ වෙයි කියලා හිතුණේ නැහැ.
අපි උදේම පේරාදෙණියෙ මල්වත්තට යන්න ලෑස්ති වුණා. මේ වගේ වෙලාවට ඔක්කොම බර කරට අරන්, පිළිවෙලකට වැඩේ සංවිධානය කරන්නේ තිනුල. එදත් යන වෙලාව තීරණය කළෙත් තිනුල.‘චූටි මාමේ, අපි දෙන්නා ඔයාගේ වෑන් එකේ යමු. අම්මයි නංගිලායි කාර් එකේ එයි.’
තිනුල කී පරිදි ම අපි වෑන් එකට නැග්ගා.
දවල්ට කෑමට අරං යන්න ලෑස්ති කරපු කෑම වර්ග බහාලු කූඩය අමතක වෙලා තිනුල ආපහු ගේ ඇතුළට ගියා.
වෑන් එක ස්ටාර්ට් කළා. ස්ටාර්ට් වුණේ නෑ.
කීප වතාවක් ම ස්ටාර්ට් කරන්න උත්සාහ කළා. ‘චූටි මාමේ වෑන් එක ස්ටාර්ට් වුණේ නෑ කියලා අම්මාට නොකියා ඉමු. අම්මා හිත දුකින් පුරවා ගනී.’ තිනුල කිව්වා. කොහොම හරි වෑන් එක ස්ටාර්ට් කරගෙන යද්දි ආපහු නුවරට කිට්ටුව ආයෙත් වෑන් එක නැවතුණා.
‘මේ වැඩේ හරියන්නෙ නෑ චූටි මාමේ. අපි වෑන් එක හොඳට හදාගමු.’උද්භිද උද්‍යානෙට ගිය මොහොතෙ ඉදන් තිනුල පුදුම සතුටකින් හිටියේ. අපි හැමෝම එක්ක ෆොටෝ ගොඩක් ගත්තා. මමයි තිනුලයි එකට ඉඳලා ගත්ත ෆොටෝ එක හිතාගන්න බැරි තරම් ලස්සනයි. දවල් අපි කෑම කෑවෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාල භූ®මියේ තියෙන විශාල ගහක් යට.
‘පුතේ, ඔයා කොහොම හරි කැම්පස් එන්න ඕන. තාත්තාට ගොඩක් සතුටු හිතේවි.’ අම්මා කිව්වා.
තිනුල කිසිවක් නොකියා අම්මාව බදා ගත්තා. ආදරෙන් කිහිප සැරයක් ම සිප ගත්තා.
‘ආපහු ගෙදර එද්දිත් පුතයි මමයි වෑන් එකෙ ආවේ. මඟ දිගට කිහිප තැනකදීම මාලුවො බලන්න, කෑම ගන්න නැවතුණා. ධර්මරාජය ළඟදි අක්කලාගේ කාර් එක නවත්තලා තිනුල චූටි නංගිව වෑන් එකට අරං ආවා’.
ගෙවල් ළඟ ඉන්න තිනුලගේ හොඳම යාළුවා මිගාර. මේ සැරේ ශිෂ්‍යත්වය කරපු මිගාර තිනුලට වඩා අවුරුදු හයක් බාලයි.
අපි ගෙදර ඇවිත් අහළ පහළ යාළුවෝ ටිකත් එකතු කරගෙන ක්‍රිකට් සෙල්ලම් කළා.
හවස 5.00 විතර වෙනකල් සෙල්ලම් කරලා. හැමෝම එකතු වෙලා දවල් මල්වත්තේ දී අරගත්ත ෆොටෝ පරිගණකයෙන් බැලුවා. ඒ වෙලාවෙ තිනුල කියපු විහිලු කතා, හිනාවුණ හැටි මතක් වෙනකොට මටත් මැරෙන්නම හිතෙනවා.’
‘තිනුල පොත් කියවන්න හුඟක් ආසයි. එයා පොතක් අතරමඟ කියවලා ඊළඟ දවසට කියවන්න ඉතුරු කරන්නෙ නෑ. කියවලා ඉවරකරන පොත වෙනම තැනක අහුරනවා. එයා අන්තිමට කියෙව්වෙ ‘මහ රෑ ආ මාරයා’ කියන පොත. එහි සඳහන් ව තිබුණේ වයස අවුරුදු 12 ක විතර ළමයෙක් මිය ගිය හැටියි. ෆෝටෝ බලලා ඉවරවෙලා, අපි සාලේ කතා කර කර හිටියා.’
‘පුතා ඇඟ සෝදගෙනම එන්නකෝ.....’ අම්මා කිව්වා.
පණටත් වඩා ආදරෙන් අම්මා කියන දේ හැමදාම අහන තිනුල, අම්මා කී සැනින් ම නාන කාමරයට ගියා. වතුර උණුවනතෙක් යළි සාලයට ආවා.
‘හොරෙක් ඇවිත්.. හොරෙක් ඇවිත්.....’
ගෙවල් උඩ පැත්තෙන් මිනිස්සු කෑගහනවා ඇහුණා.
‘අපිත් යමු චූටි මාමේ’.. තිනුලයි මමයි එළියට බැහැලා ගේට්ටුව පැත්තට ගියා.
අඳුර වැටුණාට පස්සේ තිනුල එළියට බැස්සොත්, තිනුල ඇති කරන බල්ලෝ තුන්දෙනා තිනුලට ගේට්ටුවෙන් පිටතට යන්න දෙන්නේ ම නැහැ. ඇඟට පනිනවා. කකුල් දෙක බදාගන්නවා. ඇඳුමෙනුත් අදිනවා. තිනුල හැරුණත් බල්ලන්ට දැනෙනවා.
ඒත් එදා අපි දෙන්නා ගේට්ටුව ඇරගෙන උඩහට යද්දි බල්ලෝ තුන්දෙනා ඔලුවවත් උස්සලා බැලුවෙ නැහැ. මාරයා ආවම සත්තුත් පසු බසිනවාද මන්දා....
අහළ පහළ මිනිස්සු ගොඩක් පාරට ඇවිත් හිටියා. අපි දෙන්නත් ඒ අය එක්ක අවට හෝදිසි කළා. තිනුල ඉස්සරහටම යනවා මම දැක්කා. ඒ එක්ක ම තව කවුදෝ හොරා පහළට ගියා කියලා කෑ ගහනවා ඇහුණා.
‘අම්මේ, අම්මේ හොරු පහළට ඇවිත්, අම්මා ගෙට ගිහින් දොර වහගන්න.’ තිනුල හයියෙන් කිව්වා.
හැමෝම එහාට මෙහාට හෝදිසි කර කර දුවන අතරේ තිනුල පුතා අපි ඉන්න පැත්තට එනවා මම දැක්කා. අපි දෙන්නාට දෙන්න පේන මානයේ ඉද්දීම ‘මම තිනුල තිනුල’ කියලා පුතාට කෑ ගැහුවා.
එතකොටම ඩෝං ගාන සද්දෙත් එක්කම තිනුල බිම වැටුණා. මම දුවගෙන ගිහින් පුතාව උස්සගත්තා. එයා මොනවදෝ කියන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒත් වචන පිටවුණේ නැහැ. හුස්ම හිරවෙලා අමුතු සද්දයක් ආවා.
තිනුලගේ උණු ලේ මගේ අත දිගේ ඇඟ දිගේ ගලාගෙන ගියා. පුතා අරගෙන අපි නුවර රෝහලට ගියාට මගදිම මට අමුත්තක් දැනුණා...’
‘2011 අගෝස්තු 25 දින, මහනුවර ධර්මරාජ විදුහලේ 10 වසර ඉගෙනුම ලැබූ තිනුල ධම්සික රත්නායකගේ අවසන් ගමන් යෙදී තිබුණා.’
පොලිස් පරීක්ෂණ ආරම්භ වුණා. ‘මධ්‍යම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතා නිසි පරිදි පොලිස් පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යන ලෙස සියලුම පොලිස් නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන්; අඹන්වල මහතා මෙසේ ප්‍රකාශයක් ද කළා.
‘සැකකරු මෙම නිවෙස ආසන්නයේ ම පදිංචිකරුවෙක්. ඔහු හා මිය ගිය දරුවා හා ඔහුගේ පවුලේ අය සම¼ඟ තිබූ සම්බන්ධකම් පිළිබඳව අපි පරීක්ෂණ කරනවා. සිද්ධිය සිදු වූ අවස්ථාවේ සැකකරු බීමතින් සිට ඇති බවට පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
මෙම දරුවා ඉතාම ක්‍රියාශීලි දරුවෙක්. මෙවැනි අනතුරක් සිදු වූයේ ඇයි ද යන්න විශේෂ පරීක්ෂණ යටතේ සොයා බැලීම අපගේ වගකීමක්. මිනිසුන් සෑම අවස්ථාවකම කලබල වෙනවා. නොහික්මුණු ගති පැවැතුම් නිසා ජීවිත අහිමිවන සිදුවීම් පවා සිදුවෙනවා. ග්‍රීස් යක්කු, ගෝනි බිල්ලන් වැනි මතවාද ගොඩනගාගෙන බොරු බියක් හදාගන්නවා. මෙවැනි සිදුවීම් යළි නොවන්නට ආරක්ෂාව සපයන අතර ජනතාව දැනුවත් කිරීමට අප වගකීමෙන් ක්‍රියා කළ යුතුයි.’
තිනුල අවසන් ගමන් ගියා. සැකකරු නීතියේ රැහැනින් ‘මාංචු’ අතරේ සිර වුණා.
තමන්ගේ ම ලෙයින් උපන් වැඩිමල් පුතුට හදිසියේ සිදු වූ විපත සැලවීමෙන් නිවසට ආ තිනුලගේ පියාට, තිනුලගේ වයසේ පසුවන සෑම දරුවෙක් ම ‘තිනුල’ ලෙසින් ම පෙනුණා.
ඔහු පොලිස් නිලධාරීන් සමඟ මෙසේ ප්‍රකාශ කළා.
‘මම නිවසේ නැති නිසා දරුවන්ට මගේ ආදරේ විදගන්න ලැබුණේ කලාතුරකින්. ඉල්ලන හැමදේම දුන්නත් ඒ අයට මගේ ළඟ දැවටිලා ආදරේ බෙදාගන්න ඉඩ ලැබුණේ අඩුවෙන්. ඒ දේවල් මතක් වෙද්දි මට දරා ගන්න අමාරුයි.
මගේ පුතාට වෙඩිතිබ්බ මනුස්සයාට මේ අවුරුද්දෙ අවසානයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වෙන පුතෙක් ඉන්නවා.
තාත්තා හිරගෙදර හිටියොත්, ඒ දරුවාට විභාගයට මූණ දෙන්න හිත හදාගන්න බැරි වේවි. සාමාන්‍ය පෙළ විභාගය අවසන්වන තුරු පරීක්ෂණ පරක්කු කළාට මම විරුද්ධ නැහැ. ඒ දරුවාටත් තාත්තාගේ ආදරය මේ වෙලාවේ ඕනෑ.’
තිනුලගේ පියා ළඟ තිබූ ඒ මනුසත් ගුණය සමාජය පුරාම පැතිර ඇත්නම්, පැතිර තිබුණි නම්, මෙවැනි ශෝචනීය සිදුවීම් අපට අසන්නට හෝ දකින්නට නොලැබේවි.
0 Comments